කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඇහැළියගොඩ කරඳන ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී මළ සිරුර සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී මෙරටින් පළායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් විසින් අදාළ පුද්ගලයා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති අතර, මළ සිරුර ගල් ගොඩකින් වසා දමා තිබියදී ඇහැළියගොඩ පොලිසිය විසින් සොයාගන්නා ලදී. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.














