මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) නිලධාරීන් සමඟ එක්වී, අනීතික ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර මහා පරිමාණ වංචාවක් සිදුකළ පුද්ගලයෙකු අල්ලස් කොමිසම විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් රේගු බදු නොගෙවා සහ රේගු නිශ්කාශනය කිරීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන්වන ලද මෝටර් රථ දෙකක්, RMV නිලධාරීන්ගේ සහයෙන් පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර වංචනික ලෙස ලියාපදිංචි සහතික නිකුත් කරවා ගැනීමට ආධාර අනුබල දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.















