රාජ්‍ය නිලධාරීන් ඇතුළු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට නීතිමය වශයෙන් බැඳී සිටින පුද්ගලයන් සඳහා දඩ මුදල් හෝ දඬුවම්වලින් තොරව එම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය හෙටින් (30) අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) නිවේදනය කරයි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව හෙට දිනට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බව කොමිෂන් සභාව අවධාරණය කර සිටියි.
මීට පෙර පැවති කඩදාසි භාවිතයෙන් සිදුකරන ක්‍රමය (Paper-based) වෙනුවට සියලුම වත්කම් බැරකම් ප්‍රකාශ https://ald.ciaboc.gov.lk/ යන වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ (Online) පමණක් ඉදිරිපත් කළ යුතු බව ද කොමිෂන් සභාව දන්වා සිටියි. නියමිත දිනට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන අයට එරෙහිව දඩ මුදල් පැනවීමට කටයුතු කරන අතර, මෙම නීතිය දූෂණ විරෝධී පනත යටතේ වාර්ෂිකව වත්කම් ප්‍රකාශ කළ යුතු සියලුම රාජ්‍ය නිලධාරීන්ට සහ අනෙකුත් නම් කරන ලද පුද්ගලයන්ට අනිවාර්ය වේ.
















