‘ඊසි කෑෂ්’ (Easy Cash) ක්‍රමය මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට අනාවරණය වූ අතුරුගිරිය, ශාන්තාලෝකගම ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් තහනමට ලක් කර, එහි හිමිකරුවන් වන අඹුසැමි යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වරාසිංහ ආච්චිගේ ධනුෂ්ක පුෂ්පකුමාර හෙවත් “වනාතේ බොක්කා” නමැති අයකු සහ “මැදවච්චියේ අක්කා” නොහොත් මොහොමඩ් සුෆාර් ෆාතිමා රෙජිනා නමැති ඔහුගේ බිරිඳයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර අඹුසැමියන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලබාගන්නා ආදායම ඔවුන්ගේ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර වීමට සලස්වා, පසුව තැන්පතු කාඩ්පත් (ATM Cards) මාර්ගයෙන් එම මුදල් ලබාගෙන මෙම සුඛෝපභෝගී නිවස මිලදී ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හෙට (21) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














