2026 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය යටතේ හිමිකම් සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලසීමාව මැයි මස 05 වන දින සිට ජූනි මස 01 වන දින දක්වා ක්‍රියාත්මක වේ. මේ යටතේ දැනට පවතින නාම ලේඛනය, ඉවත් කිරීමට යෝජිත නම් සහ අලුතින් ඇතුළත් කිරීමට නියමිත නම් පරීක්ෂා කර බැලීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. යම් හෙයකින් තමාගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ නම ඇතුළත් වී නොමැති නම් ඒ වෙනුවෙන් හිමිකම් පෑමටත්, සුදුසුකම් නොලබන අයෙකුගේ නමක් ඇතුළත් වී ඇත්නම් ඊට එරෙහිව විරෝධතා දැක්වීමටත් මෙම දින 28ක කාලය තුළ හැකියාව පවතී.
ඡන්දහිමි නාම ලේඛනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙන අතර ඊට අදාළ පෝරම ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැක. මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.elections.gov.lk) හරහා ද තොරතුරු පරීක්ෂා කර බලා හිමිකම් පෑම් මාර්ගගතව හෝ තැපෑලෙන් ඉදිරිපත් කළ හැකිය. ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඡන්ද බලය අත්‍යවශ්‍ය වන බැවින්, නාම ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම පුරවැසි වගකීමක් බව අවධාරණය කෙරේ.
















