ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එල්ල වන දැඩි නීතිමය පියවර හමුවේ තමිල්නාඩු ධීවරයින් මුහුණ දී සිටින අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ හදිසි මැදිහත්වීම ඉල්ලා තිබේ. තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම ප්‍රධාන දේශපාලනික පියවරක් තබමින් තලපති විජේ විසින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ දෙරට අතර පවතින මෙම සදාකාලික ගැටලුව දැන් අලුත් මානයකට ගමන් කර ඇති බවයි.
මෙම ලිපිය හරහා අද දිනයේදී මන්ඩපම් ප්‍රදේශයේ ධීවරයින් 06 දෙනෙකු සිය බෝට්ටුව ද සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට පත්වීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති අතර තමිල්නාඩු මහ ඇමතිවරයා විසින් තවත් බරපතල සංඛ්‍යාලේඛන රැසක් අනාවරණය කර ඇත. දැනටමත් ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු ශ්‍රී ලංකා බන්ධනාගාර තුළ රඳවා සිටින බවත්, ඔවුන්ට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා බෝට්ටු 264ක් ශ්‍රී ලංකා බලධාරීන් සන්තකයේ පවතින බවත් එමඟින් අවධාරණය කෙරේ. සිරගතව සිටින සිය වැසියන්ගේ නිදහස වෙනුවෙන් තමිල්නාඩුව පුරා ගොඩනැගෙන පීඩනය හමුවේ මෙම නිල නිවේදනය ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය හමුවේ ප්‍රබල අභියෝගයක් එල්ල කර තිබේ.
ඉතා කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා සියලු ධීවරයින් සහ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග බඳු වූ බෝට්ටු නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස තලපති විජේ මෙමඟින් ඉල්ලා සිටියි. දේශසීමා ගැටලුව සහ ධීවර අර්බුදය සම්බන්ධයෙන් තමිල්නාඩුවේ නව දේශපාලන නායකත්වය ගත් මෙම ස්ථාවරය කලාපීය දේශපාලනය තුළ නව කතාබහක් නිර්මාණය කර ඇති අතර එහි ප්‍රතිඵලය ඉදිරි දින කිහිපයේදී තීරණය වනු ඇත. සාගර සීමාවේ පවතින මෙම ගැටුම හුදු මායිම් ප්‍රශ්නයක් නොව, රටවල් දෙකක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පරීක්ෂාවට ලක් කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානයකි.
















