බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා තරඟ වදින සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ (Flavio Bolsonaro), වොෂින්ටන් නුවරදී අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ඊට පෙර දින ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ධවල මන්දිරයේදී හමුවිය. මෙම සාකච්ඡා පවත්වනු ලබන්නේ ෆ්ලේවියෝ බොල්සොනාරෝ සිය පියා වූ හිටපු ජනාධිපති ජායර් බොල්සොනාරෝ ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා සිරගතව සිටින බැංකුකරුවෙකුගෙන් මුදල් ඉල්ලා සිටි බව පිළිගැනීම නිසා ඇති වූ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකය. ඔහු තමන් අතින් කිසිදු වරදක් සිදුවී නොමැති බව පවසයි. මෙම සිද්ධියත් සමඟ මත විමසුම්වලදී ඔහුගේ ජනප්‍රියත්වය තරමක් අඩු වී තිබුණ ද, ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමඟ ඔහු ඉතා තියුණු තරඟයක නිරත වෙමින් සිටී. සෙනෙට් සභිකයා පවසන පරිදි, අමෙරිකානු බලධාරීන් සමඟ පැවති මෙම සාකච්ඡාවලදී සංවිධානාත්මක අපරාධ මැඩලීම, දුර්ලභ පෘථිවි ඛනිජ සම්පත් (rare earths) සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව සාකච්ඡා කර තිබේ. එසේම, කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ වරදට වසර 27ක සිරදඬුවමක් ලැබ බ්‍රසීලයේ නිවාස අඩස්සියේ පසුවන ඔහුගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවති හමුවේදී සාකච්ඡා කර ඇත.














