කොළඹ නගරයේ සහ සංගීත ප්‍රසංගවල පැවැත්වෙන විවිධ සාදවලට සහභාගි වන තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් රහසේ මත්පෙති බෙදාහරින ලද 20 හැවිරිදි තරුණ ජාවාරම්කරුවකු මත්පෙති 23,000ක් සහ හෙරොයින් තොගයක් සමඟ මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. කල්‍යාණතුංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.














