කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රහස්‍ය ලේඛන බාහිර පාර්ශ්වයන් වෙත ලබා දෙමින් සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත එහි ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කළ පන්නිපිටිය, රුක්මලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි නිලධාරිනියක මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ඇයව කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඇය විසින් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පත්තිරු, වෙළුම් සහ ඔප්පුවල දෙවන පිටපත් ඇතුළු ලේඛන බාහිර පුද්ගලයන්ට ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. එම ලේඛන උපයෝගී කරගනිමින් සැබෑ අයිතිකරුවන් නොදුවත් ව්‍යාජ ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ කුමන්ත්‍රණයකට ඇය සහාය දී ඇති බව සඳහන් වේ.
දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත ප්‍රකාරව වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















