කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ වඩාත් පහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් නව Metro බස් රථ 104ක් සැප්තැම්බර් 29 වැනිදා සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ ධාවනයට එක් කිරීමට නියමිතය.
Metro Bus සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා සඳහන් කර ඇත්තේ නව සේවාව සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග ඔස්සේ නියමිත මාර්ග සහ කාලසටහන් අනුව මෙම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එහි ප්‍රධාන අරමුණක් වන්නේ විශේෂයෙන් තනි පුද්ගලයන් පමණක් ගමන් කරන පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කිරීම බවද ඔහු සඳහන් කර ඇත.
මේ අතර, සැප්තැම්බර් 29 වැනිදා සිට කොළඹ සහ අවට බස් ප්‍රමුඛතා මංතීරු සම්බන්ධ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. එම මංතීරු උදෑසන 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක වන අතර, හදිසි අවස්ථා, අනතුරක් වළක්වා ගැනීම, දැඩි රථවාහන තදබදයක් හෝ අවශ්‍ය හැරවුමක් සඳහා හැර වෙනත් වාහනවලට ඒවා භාවිත කිරීම හෝ එහි නවතා තැබීම සීමා කර ඇත.
පොලිසිය සඳහන් කර ඇත්තේ එම ප්‍රමුඛතා මංතීරු Metro බස් රථ සඳහා පමණක් නොව අනෙකුත් මගී ප්‍රවාහන බස් රථ සඳහාද භාවිත කළ හැකි බවයි. නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය පවසයි.
















