පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීම් මෙහෙයුමකදී ප්‍රමිතියෙන් තොර බෝතල් 801ක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගෙන තිබේ. ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම හරහා වෙළෙඳපොළ තුළ නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ජාලයක තොරතුරු අනාවරණය කර ගැනීමට බලධාරීන්ට හැකි වී තිබේ.
පානීය ද්‍රව රැගෙන යාම සඳහා භාවිත කරන මෙවැනි නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා නිශ්චිත SLS 1616 ප්‍රමිතිය අත්‍යවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එවැනි බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිෂ්පාදන සහතික ලාංඡනය තිබිය යුතු අතරම, ආනයනික බෝතල් SLSI ආනයන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ අනුමත කර තිබීම අනිවාර්ය වේ. එහෙත් ඇතැම් වෙළෙඳුන් නීතිමය ප්රමිතීන් නොසලකා හදිසි ලාභ අපේක්ෂාවෙන් මෙවැනි නුසුදුසු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් පාරිභෝගික ප්‍රජාව බරපතල සෞඛ්‍ය අවදානමකට මුහුණපා සිටින බව මෙමඟින් මනාව පැහැදිලි වේ.
අදාළ විමර්ශන කටයුතු සම්පූර්ණ වීමෙන් අනතුරුව නීති නියෝග උල්ලංඝනය කළ අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් සිටියි. ඉදිරියේදීත් මෙවැනි වැටලීම් තවදුරටත් තීව්ර කරන අතර, පාරිභෝගිකයන් ද භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ ප්‍රමිති සහ නීතිමය අවශ්‍යතා සපුරා ඇති බවට සැමවිටම වගබලා ගත යුතු අතරම, කිසියම් අක්‍රමිකතාවක් වෙතොත් 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළ යුතුය.
















