කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් (උතුරු අක්ෂාංශ 06° 54’ සහ නැගෙනහිර දේශාංශ 079° 32’ ට ආසන්නව) පිහිටි මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පවතින මුහුදු දියවැල් ස්වභාවය හේතුවෙන් මෙම හිස් බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා වූ මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවී ඒමේ වැඩි හැකියාවක් පවතියි.
එබැවින්, එම මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරත වන සහ ගමන් කරන සියලුම බහුදින හා කුඩා ධීවර යාත්‍රා මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත්, යම් හෙයකින් මෙම බහාලුම් නිරීක්ෂණය වුවහොත් වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානයට හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන්ට දන්වන ලෙසත් දන්වා සිටියි.














