ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් 2025 ජනවාරි සිට 2026 මාර්තු දක්වා වූ මාස 15ක කාලය තුළ රුපියල් බිලියන 14කට අධික ණය මුදලක් නිකුත් කර තිබේ. විශේෂිත ණය යෝජනා ක්‍රම රැසක් යටතේ ණය පහසුකම් 11,869ක් ලබා දෙමින් බැංකුව මෙම සුවිශේෂී දායකත්වය ලබා දී ඇත. කෘෂිකර්මාන්තය, ආපදා සහන, මෙහෙයුම් ප්‍රාග්ධනය සහ ව්‍යවසාය සංවර්ධනය වැනි ආර්ථිකයට තීරණාත්මක ක්ෂේත්‍ර රැසක් මෙම ණය මුදල් හරහා ආවරණය කර තිබීම විශේෂත්වයකි.
රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යවසායකයින් යළි පණගැන්වීමේ (Re-MSME) යෝජනා ක්‍රමය යටතේ බැංකුවට වෙන් කළ මුල් රුපියල් බිලියනය සම්පූර්ණයෙන්ම ලබා දී අවසන් කර ඇති අතර, ඒ වෙනුවෙන් අලුතින් වෙන් කළ බිලියනයක මුදලෙන් සියයට 50ක්ද මේ වන විටත් නිකුත් කර අවසන් බව බැංකුව සඳහන් කරයි. මීට අමතරව 2020 සිට 2024 දක්වා අඛණ්ඩව වසර පහක් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අංශයට වැඩිම ණය මුදලක් ලබා දුන් බැංකුව ලෙස මුදල් අමාත්‍යාංශයේ ඇගයීමටද කොමර්ෂල් බැංකුව ලක්ව තිබේ. 2024 වසරේදී පමණක් බැංකුව එම අංශය වෙනුවෙන් රුපියල් බිලියන 330.9ක් මුදාහැර ඇත.
හුදෙක් මූල්‍ය ආධාර සැපයීමට පමණක් සීමා නොවී, ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා බැංකුව විසින් කෘෂිකාර්මික හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකක 73ක්, ජංගම බැංකු සේවා සහ නියෝජිත බැංකු පද්ධතියක්ද ක්‍රියාත්මක කරයි. නවීන තාක්ෂණය ගොවීන් අතරට ගෙනයාමේ ‘කෘෂි නවීකරණ ගම්මාන’ වැඩසටහන සහ කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ විශේෂ ඒකකද මීට ඇතුළත්ය. මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම, ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම සහ දෙස් විදෙස් වෙළඳපොළවල් සමග ව්‍යවසායකයින් සම්බන්ධ කිරීම හරහා මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට කොමර්ෂල් බැංකුව සිය කැපවීම තවදුරටත් තහවුරු කර තිබේ.














