ක්වොන්ටම් පරිගණක (Quantum Computing) මගින් අනාගතයේදී එල්ල විය හැකි තර්ජන තවදුරටත් මනඃකල්පිතයක් නොවන බව පවසන Ripple සමාගම, 2028 වසර වන විට XRP Ledger පද්ධතිය “පසු-ක්වොන්ටම්” (Post-quantum) ආරක්ෂණ පද්ධතියක් කරා පරිවර්තනය කරන බව නිවේදනය කර තිබේ.
දැනට පවතින ඩිජිටල් වත්කම්වලට ක්ෂණික අනතුරක් නොමැති වුවද, ක්වොන්ටම් තාක්ෂණයේ දියුණුවත් සමඟ වත්මන් ගුප්තකේතන (Cryptographic) පද්ධති බිඳ වැටීමේ අවදානමක් පවතී. විශේෂයෙන්ම “දැන් දත්ත රැස් කර පසුව විකේතනය කිරීමේ” (Harvest now, decrypt later) උපක්‍රමය හරහා අනාගතයේදී වත්කම් සොරකම් කිරීමට හැකියා ඇති බැවින්, මධ්‍යකාලීන සහ දිගුකාලීන ආරක්ෂණ සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය බව Ripple අවධාරණය කරයි.
XRP Ledger පද්ධතියේ පවතින සුවිශේෂී වාසියක් වන්නේ එහි ප්‍රොටෝකෝල මට්ටමින් පවතින “යතුරු ප්‍රතිස්ථාපනය කිරීමේ” (Key replacement) හැකියාවයි. මෙහිදී ගිණුම් වෙනස් නොකරම, අවදානමට ලක්විය හැකි ආරක්ෂක යතුරු ඉවත් කර නව යතුරු ඇතුළත් කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබේ. මෙම පහසුකම ඉතීරියම් (Ethereum) වැනි අනෙකුත් ප්‍රමුඛ පෙළේ බ්ලොක්චේන් ජාලවල පවා මෙතෙක් නිසි ලෙස ස්ථාපිත කර නොමැති බව Ripple පෙන්වා දෙයි.
ගූගල් වැනි සමාගම් ක්වොන්ටම් තාක්ෂණය දියුණු කරමින් සිටින පසුබිමක, බ්ලොක්චේන් ආරක්ෂාව යනු හුදෙක් වේගය හෝ පරිමාණය පිළිබඳ ගැටලුවක් නොව දිගුකාලීන පැවැත්ම පිළිබඳ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. ට්‍රෝන් (Tron) වැනි අනෙකුත් ක්‍රිප්ටෝ ජාල ද මේ වන විට මෙවැනි තාක්ෂණික තර්ජනවලට මුහුණ දීම සඳහා සූදානම් වෙමින් සිටී.














