2026 ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සැමරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා වෙරළබඩ සහ ජලජ පරිසර පද්ධති ආවරණය වන පරිදි පුළුල් පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ. බැංකුවේ සේවකයන්, ගනුදෙනුකරුවන්, ස්වේච්ඡා සේවකයන් සහ ප්‍රජා සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද මෙම මුලපිරීම හරහා මෙරට පාරිසරික සංරක්ෂණය සහ ජල කළමනාකරණය වෙනුවෙන් ආයතනික අංශයේ වගකීම මනාව පෙන්නුම් කෙරේ.
‘පිරිසිදු අනාගතයක් සඳහා එක්ව ඉදිරියට’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ වෙරළබඩ ස්ථාන 16ක් සහ අභ්‍යන්තර ජල මාර්ග 4ක් එකවර පිරිසිදු කිරීමට කටයුතු යොදා තිබිණි. ප්‍රධාන වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරය මුල් කරගනිමින් පැවැත්වුණු අතර, වැල්ලවත්ත සහ ගාලු මුවදොර මෙන්ම කළුතර, මීගමුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, යාපනය, ගාල්ල, දෙවුන්දර, තංගල්ල සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවලද බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවල මැදිහත්වීමෙන් සමාන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ජාලය ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහයෝගය මේ සඳහා හිමිව තිබේ.
2025 වසරේදී තිරසාර සංවර්ධන ඉලක්ක 6 යටතේ පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව ප්‍රමුඛතා ඉලක්කයක් ලෙස සම්මත කර ගැනීමෙන් පසු, බැංකුව සිය පාරිසරික වගකීම් අඛණ්ඩව ඉටු කිරීමට මෙමඟින් පියවර තබා ඇත. ඉදිරියේදීත් මෙවැනි හරිත හා තිරසාර වැඩසටහන් හරහා ජාතික මට්ටමින් ජල සම්පත සහ වෙරළ තීරයන් ආරක්ෂා කර ගැනීමට දායක වීමට කොමර්ෂල් බැංකුව අපේක්ෂා කරන අතර, එය සමස්ත සමාජයටම පූර්වාදර්ශයකි.
















