පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ සේවය තහනම් කිරීම සහ කාන්තා නිලධාරිනියන්ට සිදුවූ හිරිහැර ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් යොමු කර තිබූ ලිපිය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ (CPA) විශේෂ අවධානය යොමු වී තිබේ. මෙම සිදුවීම් පිළිබඳව තමන් සමීපව නිරීක්ෂණය කරන බව එම සංගමයේ මහ ලේකම් ස්ටීවන් ටුවිග් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ මහ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් යොමු කළ ලිපියේ ප්‍රධාන වශයෙන් පෙන්වා දී තිබුණේ, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම ආයතනික ස්වාධීනතාව සහ නීතිමය ක්‍රමවේද දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුවට (SAC) නීතිමය බලයක් නොමැතිව කථානායකවරයා තමා සතු නොවන බලතල පාවිච්චි කර මෙම තීරණය ගෙන ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය. මීට අමතරව, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සහ පාර්ලිමේන්තු තොරතුරු පද්ධති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදු වූ හිරිහැර පිළිබඳ පරීක්ෂණ වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ද සංගමය කරුණු මතු කර තිබුණි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කරවන බව ස්ටීවන් ටුවිග් මහතා පැවසූ අතර, නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බැවින්, ඒ පිළිබඳ මැදිහත්වීමට තම සංගමයට ඇත්තේ සීමිත ඉඩකඩක් බව ද ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, එම අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව තමන් සමීපව නිරීක්ෂණය කරන බව මහලේකම්වරයා තවදුරටත් අවධාරණය කරයි.














