පලාලි උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකුට ඉන්දීය ධීවර පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. ඉන්දීය ධීවරයින්ගේ දැල් කපා දැමූ බවට චෝදනා කරමින් ඔවුන් මෙම පහරදීම සිදු කර ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු කෙසේ හෝ යාපනයට පළා ඒමට සමත් වී ඇත.
කෙසේ වෙතත්, පහරදීමට ලක්වූ තෙවැනි ධීවරයාගේ අත් පා නයිලෝන් ලණුවලින් බැඳ, බෝට්ටුවකින් ඉන්දියාවට පැහැරගෙන ගොස් තිබේ. අදාළ ධීවරයා මේ වන විට ඉන්දියාවේ කීහොයූර් පොලිසිය විසින් බේරාගෙන නාගපට්ටිනම් රජයේ රෝහලට ඇතුළත් කර ඇත.
මෙවැනි අමානුෂික සහ නීතිවිරෝධී ක්‍රියා උතුරු මුහුදේ සිදුවෙද්දී ශ්‍රී ලංකා නාවික හමුදාව නිහඬව සිටියේ මන්දැයි උතුරේ සිවිල් ක්‍රියාකාරීන් දැඩි ලෙස ප්‍රශ්න කරති. අපේ මුහුදු සීමාවේදී අපේ රටේ ධීවරයින් මෙලෙස අසරණව පැහැර ගැනීමට ලක්වන විට නාවික හමුදාවේ ආරක්ෂක මැදිහත්වීම සහ මුර සංචාරවල කාර්යක්ෂමතාව පිළිබඳව ඔවුන් බලවත් කණස්සල්ල පළ කරති.














