දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානි සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නිලධාරීන් විසින් අදාළ ඇස්තමේන්තු සකස් නොකිරීම නිසා බව වැවිලි හා ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. උමා ඇළ වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දිට්ඨා සුළි කුණාටුව සිදුවී මාස 06ක් ගතවී ඇතත්, වගකිවයුතු නිලධාරීන් තවමත් ඇතැම් හානි වූ ස්ථාන සඳහා ඇස්තමේන්තු සකසා නොමැත. ඌවපරණගම මස්පන්න බස් නැවතුම්පොළ සහ හලාබ පාලම වැනි ස්ථානවල හිමිකාරිත්වය පිළිබඳව නිලධාරීන් දැනුවත් නොවීම හේතුවෙන් එම ස්ථානවල ඇස්තමේන්තු සැකසීම ප්‍රමාද වී ඇති බව හෙළි විය. නිලධාරීන්ගේ මෙම ප්‍රමාදය හේතුවෙන් ජනතාව රජයට දොස් පැවරුවද, සත්‍ය වශයෙන්ම මෙම ප්‍රමාදය සිදුව ඇත්තේ ඇස්තමේන්තු සකසන නිලධාරීන්ගේ අපරික්ෂාකාරී බව නිසා බව අමාත්‍යවරයා අවධාරණය කළේය. නොවැම්බර් මාසයේ අධික වර්ෂාවෙන් හානි වූ උමා ඇළ වේල්ල තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර ජලය නිකුත් කර ඇති අතර, එහි ස්ථිර ප්‍රතිසංස්කරණ සඳහා රජය රුපියල් මිලියන 228.6ක මුදලක් වෙන් කර තිබේ. නිලධාරීන් තම යුතුකම් කොටස කඩිනමින් ඉටු කර, කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහ ආයතනවලට වන්දි ගෙවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
















