ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130ක් දක්වා ඉහළ දැමීමේ තීරණයක් ගෙන තිබේ.
මෙම ගාස්තු සංශෝධන යෝජනාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.
පසුගිය වර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් සහ මෙවර රුපියල් 24කින් වශයෙන් ආසන්නතම අවස්ථා දෙකේදී පමණක් ඉන්ධන මිල රුපියල් 36කින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා, පසුගිය වතාවේ මගී ජනතාව ගැන සිතා ගාස්තු සංශෝධනයක් නොකළ ද මෙවර මිල විශාල ලෙස වැඩිවීම නිසා පැරණි මිල ගණන් යටතේ තවදුරටත් සේවය සැපයිය නොහැකි බව ප්‍රකාශ කළේය.
ඉන්ධන මිලට අමතරව ග්‍රීස්, එන්ජින් ඔයිල් ඇතුළු ලිහිසි තෙල් වර්ග සහ අමතර කොටස්වල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, වහාම ගාස්තු සංශෝධනයක් සිදු නොවුණහොත් සමස්ත ත්‍රිරෝද රථ කර්මාන්තයම බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ද සංගමය අවධාරණය කරයි. වත්මන් රජයේ ආර්ථික පිළිවෙත් විවේචනය කරමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ පීඩාවට පත්ව සිටින තමන් වැනි කර්මාන්තකරුවන් කෙරෙහි රජය නිසි අවධානයක් යොමු නොකරන බවයි.
















