27 April 2024
#දේශීය

මාර්ගගත පරිගණක ක්‍රීඩාවලින් දරුවන් බේරාගන්නැයි පැමිණීල්ලක් – ලක්මව දියණියෝ

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන්නැයි “ලක්මව දියණියෝ” සංවිධානය විසින් විදුලි සන්දේශ නියාමන කොමිසමට පැමිණීල්ලක් ලබා දී ඇත.

එම පැමිණීල්ල විදුලි සංදේශ නියාමන කොමිසමට අද (14) ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ “ලක්මව දියණියෝ” ජාතික සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ලිපියක් භාර දෙනු ලැබුවාය.

 

එම ලිපිය මෙසේය ..

“සභාපතිතුමා,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,
අංක 276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.

ප‍්‍රිය මහත්මයාණෙනි,

 මාර්ගගත පරිගණක ක‍්‍රීඩා ව්‍යසනයෙන් දරුවන් බේරාගැනීම සදහා වහා මැදිහත්වන්න

 කොවිඩ් වසංගත තත්වය නිසා දීර්ඝ කාලයක් දරුවන් මාර්ගගත අධ්‍යාපන කි‍්‍රයාවලියට යොමුකිරීම නිසා ඔවුන් බරපතළ මානසික පීඩනයකට ලක්වන බවට දෙමාපියන් අතර සුවිශේෂී සංවාදයක් පවතින බව ඔබතුමා දන්නවා ඇතැයි අපි විශ්වාස කරමු. කොවිඩ් වසංගතය නිසා උදාවූ නරක තත්වය යහපත් අතට හැරවීම සඳහා දරුවන් අතර කියවීම පුරුදු කිරීම සහ රූපවාහිනිය සහ විශේෂයෙන්ම ගුවන්විදුලිය යොදාගනිමින් අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බවට විවිධ විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කළ බව ද ඔබතුමාට රහසක් විය නොහැක. නමුත් ඒ වෙනුවට එකම විසඳුම ලෙස මාර්ගගත දේශන ක‍්‍රියාවලිය පමණක් දිරිමත් කිරීම වරදක් බවට දැන් සමාජයේ ගැඹුරු සංවාදයක් මතු වී ඇත.

එසේම මෙම මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලිය වාණිජ උවමනාවන් සඳහා අනවශ්‍ය පරිමාවෙන් ප‍්‍රචලිත කිරීමට ටියුෂන් මාස්ටර්ලා ද විශාල වශයෙන් දායක වන බව ප‍්‍රසිද්ධ කරුණකි. ඔවුන් දරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් අයකරන බව ද රහසක් නොවේ. එසේම ඒ් මගින් දුරකථන ජාල පවත්වාගෙන යන සමාගම්වලට සහ ස්මාර්ට් දුරකථන ආනයනකරුවන්ට ද ඉල්ලමක් පෑදී ඇතත් දෙමාපියන්ට එම තත්වය මගින් බරපතළ මූල්‍යමය පීඩනයක් ඇතිවේ. කෙසේ වෙතත් මේ වන විට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව විද්වත් මතවාද රටට ඉදිරිපත් කර ඇත. නමුත් බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳව යොමුවී නැති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ පාලනයකින් තොරව දීර්ඝ වේලාවක් දරුවන් රැදී සිටිම මගින් ඔවුන්ට ඇතිවන මානසික සංකූලතාවලට අමතරව අන්තර්ජාලය හරහා ඉදිරිපත් කෙරෙන ‘‘වීඩියෝ ගේම්ස්’’ ලෙස හැදින්වෙන විවිධ විනාශකාරී පරිගණක වැඩසටහන් නිසා බරපතළ අගතියක් දරුවන්ට සිදුවන බව දැන් ඉතා පැහැදිළිය. මෑතකාලීනව එවැනි පරිගණක ක‍්‍රිඩා මගින් මානසික පීඩාවට පත්වූ දරුවන් සියදිවි නසා ගැනීමට පවා පෙළඹී ඇති බව වාර්තා විය.

ඒ නිසා දුකටපත් මව්වරුන් ලෙස අප ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ අන්තර්ජාලයෙන් ඉදිරිපත් කෙරෙන දරුවන්ට අහිතකර ‘‘වීඩියෝ ගේම්ස්’’ ඔවුන්ට ලබාගත නොහැකි වන ලෙස තාක්ෂණික බාධා පමුණුවන ලෙසය. එසේම මෙම විනාශකාරී තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා දෙමාපියන් සහ දරුවන් ඉලක්ක කරගත් අධ්‍යාපන සහ ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කරන ලෙසද අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එසේ නොමැතිවුවහොත් මාර්ගගත අධ්‍යාපනයට මුවා වී අන්තර්ජාල මාරයා අප රටේ දරු පරපුර ක‍්‍රමානුකූලව විනාශ මුඛය කරා රැගෙන යනු ඇත. දෙමාපියන් ලෙස මේ විනාශය දෙස තවදුරටත් ඉවසීමෙන් බලාසිටිය නොහැකි බව ද අපි ඔබතුමාට ඉතා කරුණාවෙන් අවධාරණය කරමු.

මේ වගට,

ප‍්‍රියංගා කොතලාවල,
ජාතික සංවිධායිකා
ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය
2021.10.14

පිටපත්:-
1. අතිගරු ජනාධිපතිතුමා
2. සභාපති – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *