“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව, ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ විශේෂ මධ්‍යස්ථානයක් ඊයේ (08) ඒකල කාර්මික ජනපදයේදී විවෘත විය. නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
බස්නාහිර පළාතේ දිනකට එක්රැස් වන ටොන් 300ක පමණ ඉදිකිරීම් අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරමින්, ඒවා නැවත භාවිත කළ හැකි වටිනා අමුද්‍රව්‍ය බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය මේ සඳහා වෙන් කර ඇති අතර, පැයකට මෙට්‍රික් ටොන් 200ක අපද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ධාරිතාව මීට පවතී. මෙම මධ්‍යස්ථානය මගින් අවිධිමත් ලෙස බැහැර කරන සුන්බුන් නිසා සිදුවන පාංශු හා ජල දූෂණය මෙන්ම ගංවතුර අවදානමද අවම කර ගැනීමට අපේක්ෂිතය. ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සමඟ එක්ව මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත.














