මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන උස්වැටකෙයියාව සහ වත්තල ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී දේපල තහනම් කිරීමට (ක්‍රියාවිරහිත කිරීමට) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමකට අනුව මෙම නියෝගය නිකුත් විය.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ උස්වැටකෙයියාව, පුබුදුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් පර්චස් 20ක ඉඩමක මෙම කෝටි 5ක සුඛෝපභෝගී දෙමහල් නිවස ඉදිකර ඇති බවයි. මීට අමතරව වත්තල, නුගපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 70ක් වටිනා තවත් නිවසක් සහ කඩ කාමරයක් ද ඇය විසින් මෙලෙස උපයාගෙන තිබේ. සැකකාරිය මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















