ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නිලධාරීන් පුහුණු කරන ප්‍රමුඛතම ආයතනයක් වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට (NIHS) වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමන හෙට (10) පෙරවරු 7.30 ට කළුතර මහා නගර සභා පරිශ්‍රයෙන් ආරම්භ වීමට නියමිතය.
කළුතර නගර වැසියන් වෙත වැදගත් මහජන සෞඛ්‍ය පණිවිඩ හා උපදෙස් බෙදාහරිමින් ගමන් ගන්නා මෙම පාගමන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයෙන් අවසන් වේ. 1926 ජූලි 1 වැනිදා රොක්ෆෙලර් පදනමේ (Rockefeller Foundation) දායකත්වයෙන් ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය ලෙස මෙය ආරම්භ වූ අතර, සියවසක් පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් ඇතුළු ක්ෂේත්‍රයේ පෙරමුණේම සිටින සෞඛ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් බිහිකර ඇත. හෙට පැවැත්වෙන පාගමන සඳහා විද්‍යායතන කාර්ය මණ්ඩලය, සිසුන්, ආදි විද්‍යාර්ථීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
















