වෙනත් පුද්ගලයන්ගේ අනන්‍යතාව, ඡායාරූප සහ ඇඟිලි සලකුණු භාවිත කරමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර පාතාල සාමාජිකයන්ට රටින් පලා යාමට ආධාර කළ ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය. මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, තමන් වෙත පැමිණෙන පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම නිලධාරීන්ගේ මූලික වගකීමක් බව අවධාරණය කළේය.
මෙම වංචනික ක්‍රියාවලිය හරහා පාතාලයට සම්බන්ධ පුද්ගලයන් 26 දෙනෙකු විදේශගත වී ඇති බවට සැක කෙරෙන අතර, ඉන් පස් දෙනෙකුට මේ වන විට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. එක් පුද්ගලයෙකුගේ ඇඟිලි සලකුණු ලබා දී තවත් අයෙකු විදේශගත වීමේ සිද්ධීන් කිහිපයක් මෙහිදී අනාවරණය විය. ව්‍යාජ ඇඟිලි සලකුණු ඇතුළත් කිරීමට සහ ඒවා අනුමත කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් වහාම හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සමස්ත ජාලය පිළිබඳ විමර්ශන වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.














