ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර විශේෂ හමුවක් අද (11) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත තරුණ හුවමාරු වැඩසටහන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දෙරටේ තරුණ පරපුරේ කුසලතා සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා වන නිල අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹීමට ද මෙහිදී එකඟතාව පළ විය. මීට අමතරව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන සහයෝගීතාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර, දෙරට අතර ක්‍රිකට් තරගාවලීන් සංවිධානය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පකිස්ථානයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගන්නා ලදී. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි නව පිම්මක් ඇති කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.














