ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නේද යන්න පිළිබඳ තීරණය මහාධිකරණ නියෝගයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) දැනුම් දුන්නේය.
චීන සංචාරයක් සඳහා සහභාගී වීමට තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස මන්ත්‍රීවරයා කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, වීසා ලබාගැනීමේ කටයුතු සඳහා අධිකරණය භාරයේ තිබූ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට නියෝග කළේය. සැකකරුට එරෙහිව දැනටමත් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බැවින්, මෙම තහනම ඉවත් කරගැනීමට අදාළ කරුණු මහාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත්, එහි නියෝගයෙන් පසුව මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව ලබාදෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි. වැඩිදුර කරුණු විමසීම මැයි 19 වැනිදාට කල් තබා ඇත.














