දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් උදෙසා වෘත්තීය මට්ටමේ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීමේ නවතම වැඩපිළිවෙලක් ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් තරුණයෙකු හෝ තරුණියක බැගින් තෝරාගෙන ඔවුන්ට පුළුල් පරාසයක විහිදුණු මාධ්‍ය පුහුණුවක් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. විශේෂයෙන්ම පුවත්පත් කලාව, රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යකරණය මෙන්ම වර්තමානයට අත්‍යවශ්‍ය වන ඩිජිටල් මාධ්‍ය යන සියලුම අංශ ආවරණය වන පරිදි වසරක කාලයක් පුරා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා ලැබී ඇති අයැදුම්පත් 2500කට අධික සංඛ්‍යාවකින් සුදුස්සන් තෝරාගැනීම සම්මුඛ පරීක්ෂණ මගින් සිදු කෙරෙන අතර, තෝරාගනු ලබන තරුණ පිරිසට වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය මගපෙන්වීම සහ අවස්ථාවන් හිමිවනු ඇත. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයත් ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා වඩාත් ගුණාත්මක සහ වගකීම් සහගත ප්‍රාදේශීය මාධ්‍යවේදී පරපුරක් රටට දායාද කිරීම ප්‍රධාන අරමුණයි. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණු අතර එහිදී තරුණ තරුණියන්ට හිමිවන අවස්ථා පිළිබඳව දීර්ඝව අවධානය යොමු කෙරිණි.














