ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් මෙතෙක් කිසිදු මිල සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ, මේ වනවිට රට තුළ භාවිත කෙරෙන්නේ මීට පෙර ඇණවුම් කරන ලද ඉන්ධන තොග බවයි.
ඒ අනුව, ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී කිසිදු සාකච්ඡාවක් ආරම්භ කර නොමැති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, පවතින මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමේදී ඇතැම් බෙදාහරින්නන් දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව රජය පිළිගෙන තිබේ.
එම තත්ත්වය ලිහිල් කිරීම සඳහා රජය විසින් මාස තුනක කාලයක් සඳහා සහන ලබාදී ඇති අතර, ඒ සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 57ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අනාගතයේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ගෝලීය ඉන්ධන මිල ගණන්වල වෙනස්වීම් මත රඳා පවතින බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යන්නේද යන්න පිළිබඳ තක්සේරු කිරීමෙන් අනතුරුව පමණක් ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.












