වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට ලබා නොදී අතපසු කර තිබූ උසස්වීම් ඉතා කඩිනමින් ලබාදීමට වත්මන් රජය පියවර ගනිමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ එම ප්‍රදේශයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
පොලිස් සේවය, ගුණාත්මක මෙන්ම ඉහළ වෘත්තීය මට්ටමක පවතින සේවයක් ලෙස ඉදිරියටත් වර්ධනය කිරීම වෙනුවෙන් රජය විසින් මේ වන විට ගෙන ඇති සාධනීය පියවර රැසක් පිළිබඳව අමාත්‍යවරයා එහිදී දීර්ඝ ලෙස පැහැදිලි කළේය. ඒ අනුව, වර්තමානය වන විට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල පවතින අඩුපාඩු මකා දමමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් විශාල මුදලක් වෙන් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම, පොලිස් දෙපාර්තමේන්තුව තුළ දීර්ඝ කාලයක සිට පවතින මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුමක් ලබාදීම වෙනුවෙන් අලුතින් නිලධාරීන් 10,000ක පිරිසක් බඳවා ගැනීමේ කටයුතු ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















