දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ දැඩි සුළං තත්ත්වයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන් නඟාසිටුවීම සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) විශේෂ සහන වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් ආපදා තත්ත්වය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන ණයගැතියන්ගේ ණය වාර්තාවලට (CRIB Reports) සිදුවිය හැකි අහිතකර බලපෑම් වළක්වා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම සහන ක්‍රමය යටතේ, ආපදා තත්ත්වය නිසා තාවකාලිකව මූල්‍ය අපහසුතාවලට පත් වූ ණය ගනුදෙනුකරුවන්ට මාස හයක් දක්වා සහන කාලසීමාවක් හිමි වනු ඇත. එම කාලය තුළ ඔවුන්ගේ ණය වාර්තා අහිතකර ලෙස ලකුණු නොවන අතර, ආපදා හේතුවෙන් ගෙවීමට පමා වන වාරික “හිඟ මුදල්” (Overdue) ලෙස වාර්තා නොකිරීමට ද පියවර ගෙන තිබේ. මෙය ආපදාවෙන් විපතට පත් ව්‍යාපාරිකයන්ට සිය කටයුතු යළි ආරම්භ කිරීමට ලැබෙන විශාල දිරිගැන්වීමකි.
ව්‍යාපාර යළි නඟාසිටුවීම සඳහා ලබාදෙන නව ණය පහසුකම් ප්‍රතිසාධන ක්‍රියාවලියේ කොටසක් ලෙස හඳුනා ගන්නා බව ණය තොරතුරු කාර්යාංශය පවසයි. සහන සඳහා සුදුසුකම් ලත් පාරිභෝගිකයන්ට මූල්‍ය ආයතන මගින් ලබාදෙන සහයෝගය නිසි ලෙස පිළිඹිබු වන පරිදි ඔවුන්ගේ ණය වාර්තා යාවත්කාලීන කිරීමට ද අපේක්ෂිතය. මෙමගින් පීඩාවට පත් වූවන්ට ඉදිරියේදී මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ඇතිවිය හැකි තාක්ෂණික බාධා ඉවත් වනු ඇත.














