සයිබර් අපරාධ සම්බන්ධයෙන් රඳවා සිටි වැලිසර අතුරු කඳවුරෙන් පලාගිය විදේශිකයන් පිරිසක් බොරලැස්ගමුව ප්‍රදේශයේ සැඟව සිට නැවතත් සයිබර් අපරාධවල නිරතව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංෂයේ නිලධාරීන් විසින් ඊයේ (07) සිදු කළ වැටලීමකදී චීන ජාතිකයන් 21 දෙනෙකු සහ වියට්නාම් ජාතිකයන් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබූ ලැප්ටොප් පරිගණක 10ක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පිරිස මීට පෙර අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් 152 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයන් වන අතර, ඔවුන් වැලිසර රඳවා සිටියදී පලා විත් තිබේ. පසුව මොවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහල රුපියල් ලක්ෂ පහළොවක මාසික කුලී පදනම මත ලබාගෙන රහසිගතව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම කිසිදු විදේශිකයෙකු සතුව වලංගු වීසා බලපත්‍ර හෝ ගුවන්ගමන් බලපත්‍ර නොතිබූ බව පොලිසිය පවසයි.
භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මොවුන් දින කිහිපයකට පෙර මෙම ස්ථානයට පැමිණි බව පවසා ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ විවිධ මූල්‍ය වංචා සිදු කිරීම මොවුන්ගේ අරමුණ වී තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.















