27 April 2024
#සංවර්ධන

CRIB රිපොට් බලලා ණය දීම ප්‍රතික්ෂේප කරන්නෙපා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බව සේමසිංහ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සමග අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ පැවැති ආණ්ඩුව ආර්ථික සම්බන්ධයෙන් විවෘතභාවයකින් තොරව ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් රටටත් ජනතාවටත් විඳවන්නට සිදූ වී බවයි. මේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැසක් ණය බරින් පීඩාවට පත්ව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇති එම ව්‍යාවසායකයන්ට සහන ලබා දීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

අතීතයේ පැවැතියේ වසර පහකින් පසු දේශපාලනඥයන් ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත් වීමේ ක්‍රමවේදය වුව ද රජයේ අපේක්ෂාව වන්නේ එම කාලය තුළ දී දේශපාලනඥයා නොව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතර ආරච්චි මහතා ද එක්ව සිටියේ ය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *