උතුම් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාවගේ කුසගිනි නිවීම සඳහා මහා බත් දන්සැලක් සංවිධානය කර තිබේ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අනුග්‍රහය සහ මූලිකත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී මෙම දන්සැල ඊයේ (30) ආරම්භ කෙරුණු අතර, දියවඩන නිළමේවරයා විසින්ම එහි පැමිණි ජනතාව වෙත ආහාර බෙදාදීම සිදුකරනු ලැබීය.
මෙහි දක්නට ලැබුණු සුවිශේෂී සර්ව ආගමික සහ වාර්ගික සමගිය සංකේතවත් කළ අවස්ථාව වූයේ තලෙයිමන්නාරමේ සිට මහනුවර සහ දළදා මාළිගාව දැකබලා ගැනීම සඳහා පැමිණ සිටි මුස්ලිම් සහ දෙමළ ජනතාවට ද මෙම දන්සැලෙන් ආහාර ලබා ගැනීමට විශේෂ පහසුකම් සලසා දී තිබීමයි. දළදා මාළිගාව මගින් සංවිධානය කර ඇති මෙම මහා බත් දන්සැල අද (31) දිනයේ ද රාත්‍රී 8:00 වනතුරු අඛණ්ඩව පැවැත්වීමට කටයුතු යොදා ඇත.














