පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එළවළු ගැනුම්කරුවන් පැමිණීම අඩුවී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ.
ඊයේ (19) දින දඹුල්ල වෙළෙඳපොළේ අමු මිරිස් සහ මාළු මිරිස් හැර සෙසු බොහෝ එළවළුවල තොග මිල රුපියල් 20 සිට 90 දක්වා ඉතා අඩු මට්ටමකට පත් විය. තක්කාලි රුපියල් 50-70ක්, කැකිරි සහ පිපිඤ්ඤා රුපියල් 25-30ක් වැනි අඩු මිලකට අලෙවි වූ අතර වට්ටක්කා මිල ද රුපියල් 40-60 දක්වා පහළ බැස තිබේ. ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන වියදම් ඉහළ යාමෙන් සුපුරුදු ගැනුම්කරුවන්ගෙන් අඩක් පමණ වෙළෙඳපොළට නොපැමිණීම මෙම මිල අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
ඊයේ දිනයේදී එළවළු කිලෝ ලක්ෂ 10-15ත් අතර ප්‍රමාණයක් ලැබුණද ඒවා අලෙවි කරගත නොහැකිව ගොවීන් දැඩි පීඩාවට පත් විය. අලෙවි කරගත නොහැකි එළවළු තොග ගබඩා කිරීමට ශීතාගාර පහසුකම් නොමැතිකම නිසා විශාල අස්වනු ප්‍රමාණයක් විනාශ වී යන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය පෙන්වා දෙයි. යාපනය ඇතුළු විවිධ කලාපවලින් එළවළු රැගත් වාහන රැසක් ඒ 9 මාර්ගයේ පෝලිම් ගැසී තිබෙනු දැකිය හැකි වූ අතර, සිය නිෂ්පාදන පිරිවැය පවා පියවා ගැනීමට නොහැකිව ගොවීන් අසරණ වී සිටිති.














