රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වන්නේ 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි කාන්තාවකි. මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර හරහා ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම 12.53ට මෙරටට පැමිණ ඇත. ඔවුන් සතු වූ ගමන් මලු දෙකක පැකට් 5ක් ලෙස අසුරා තිබූ කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 401ක් බරැති මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී පොලිස් භාරයට පත් විය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර, සමාජ මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන මෙවැනි ජාවාරම් පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවෙයි.
















