නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කරන ලද වාර්ෂික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය, එරට අගමැති ක්‍රිස්ටෝපර් ලක්ෂන් (Christopher Luxon) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සාර්ථකව පැවැත්විණි.
නවසීලන්ත ශීලංකාරාම විහාරාධිපති වල්ගම මහින්දාවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඔක්ලන්ඩ් නුවර පෙයාර්පර්ත් විදුහල් ක්‍රීඩාපිටියේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි. නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවයකට මෙලෙස සක්‍රීයව සහභාගී වීම විශේෂත්වයක් වූ අතර, එහිදී පැවති සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහ සංස්කෘතික අංග නැරඹීමට ද ඔහු එක් විය.
මෙම අවස්ථාවට නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර, අවුරුදු ක්‍රීඩාවලින් ජයග්‍රහණය කළ තරඟකරුවන් සඳහා වටිනා තෑගි පිරිනැමීම ද සිදු විය. මෙම උත්සවය විදේශගත ලාංකිකයන් අතර සංස්කෘතික බැඳීම තහවුරු කිරීමටත්, නවසීලන්ත රජය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර පවතින සුහදතාව වර්ධනය කිරීමටත් කදිම අවස්ථාවක් විය.














