ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 205ක ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත් විය. එම ඉනිම ශක්තිමත් කළ රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 50කදී නොදැවී ලකුණු 87ක් ලබා ගත් අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් ගුල්බදින් නායිබ් පන්දු 23කින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය. කැන්ඩි රෝයල්ස් පන්දු යවන්නන් අතරින් නුවන් තුෂාර සහ දුෂාන් හේමන්ත කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.
ලකුණු 206ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187ක් පමණි. කැන්ඩි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේල් පිලිප්ස් ලකුණු 52ක් ලබා ගත් අතර, ළහිරු උදාර ලකුණු 44ක් සහ විජේ ශන්කර් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තද කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය. දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ගුල්බදින් නායිබ් සහ මොහොමඩ් වසීම් කඩුලු දෙක බැගින් දවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ.
















