ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ එක්ව සංවිධානය කරන ලද දිවයින පුරා සංචාරයක කොටසක් ලෙස, පෝලන්තයේ ජාතික රූපලාවන්‍ය තරගාවලිය වන ‘මිස් පොල්ස්කි 2026’ (Miss Polski 2026) අවසන් තරගකාරිනියන් සහ ඔවුන්ගේ නිෂ්පාදන කණ්ඩායම සන් සියම් පාසිකුඩා රිසෝට් එක වෙත පැමිණියහ.
තරගකාරිනියන් 24 දෙනෙකු සහ 45 දෙනෙකුගෙන් යුත් නිෂ්පාදන කණ්ඩායමක් ඇතුළු පිරිසක් මීට පෙර සිගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, ස්වාභාවික සෞන්දර්යය සහ වනජීවී සම්පත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙත ප්‍රදර්ශනය කිරීම අරමුණු කර ගත්හ. අගෝස්තු 2 වන දින පෝලන්තයේ පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර ඔවුන් මෙම සංචාරයේ නිරත විය.
සන් සියම් පාසිකුඩා රිසෝට් එකේ ගත කළ දින දෙකක කාලය තුළ, රිසෝට් එකේ මනරම් වෙරළ තීරය පසුබිම් කරගනිමින් අවසන් තරගකාරිනියන්ගේ විශේෂ ප්‍රවර්ධන ඡායාරූප සැසියක් පැවැත්විණි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාෂිතා ද තබ්‍රේව් මහත්මිය සඳහන් කළේ, මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ මෙතෙක් වැඩි අවධානයක් යොමු නොවූ සංචාරක ගමනාන්තයන් ගෝලීය අවධානයට ලක් කිරීම අරමුණු බවයි. සන් සියම් පාසිකුඩා හි සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේ, නැගෙනහිර වෙරළ තීරයේ සෞන්දර්යය සහ ආගන්තුක සත්කාරය ජාත්‍යන්තර නිෂ්පාදන කණ්ඩායම් වෙත ප්‍රදර්ශනය කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය, විවේකී සංචාරකයින් සහ ජාත්‍යන්තර නිෂ්පාදන කණ්ඩායම් සඳහා ඉහළ ආකර්ෂණයක් සහිත ගමනාන්තයක් බව තවදුරටත් තහවුරු විය.
















