දඹුලු විහාරය ඇතුළු පූජනීය ස්ථාන කිහිපයකට ප්රහාර එල්ල කරන බවට පෝස්ට් ප්රචාරය කිරීම සහ බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කර වට්ස්ඇප් සමාජ මාධ්ය වෙත යොමු කළ බව කියන 21 හැවිරිදි තරුණයෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග බෝදරගම මහතා විසින් අද (01) මෙම නියෝගය නිකුත් කර ඇත.
ඉබ්බාගමුව ප්රදේශයේ පදිංචි ජේ.එම්. අමෝන්ය මධුක තමෝෂ නමැති සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය ධම්මගම ආනන්ද අනුනාහිමියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ දළදා මාලිගාව, දඹුලු විහාරය සහ ශ්රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන රැසකට ප්රහාර එල්ල කරන බවටත්, බුදු දහම මුළු ලෝකයෙන්ම අතුගා දැමීම අරමුණ බවටත් වට්ස්ඇප් සමූහයක් තුළ පණිවිඩ ප්රචාරය කර තිබූ බවයි.
අදාළ වට්ස්ඇප් සමූහයේ ඡායා පිටපත් ඇතුළු කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සැකකරු එම සමූහයේ පරිපාලකයෙකු ලෙස කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















