චීනයේ ෆුජියන් පළාතේ ජින්ජියැන්ග් නගරයේ පිහිටි පාවහන් කර්මාන්තශාලාවක ඇති වූ දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී කර්මාන්තශාලා ගොඩනැගිල්ල තුළ සේවකයින් 237 දෙනෙකු සහ අමුත්තන් දෙදෙනෙකු සිට ඇති අතර, බලධාරීන් විසින් 213 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත. ඉන් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගිය අතර, අතුරුදහන්ව සිටි තවත් 26 දෙනෙකුගේ මළ සිරුරු පසුව සොයාගෙන ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ගින්න ආරම්භ වී ඇත්තේ ගොඩනැගිල්ලේ පහත මහලේ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පාවහන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන අතිශය දහනය විය හැකි අමුද්‍රව්‍ය ගොඩනැගිල්ලේ පැවතීම හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති බව නිලධාරීන් පවසති. සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති චීන ජනාධිපති ෂී ජින්පින්ග්, වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කර ඇත.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 180කට අධික පිරිසක් සහ ගිලන් රථ ඇතුළු හදිසි සේවා වාහන 35ක් යොදවා තිබුණි. චීනය තුළ පවතින දුර්වල ආරක්ෂක ප්‍රමිතීන් සහ නීති ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හේතුවෙන් මෙවැනි කාර්මික අනතුරු නිතර වාර්තා වන අතර, පසුගිය වසරේ මුල් මාස නවය තුළ පමණක් චීනයේ සිදුවූ රැකියා ස්ථාන ආශ්‍රිත අනතුරු හේතුවෙන් 12,800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
















