27 April 2024
#දේශීය

චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් කියයි

ජාත්‍යන්තරයෙන් පදනම් විරහිත චෝදනා අප රට වෙත එල්ල වූ අවස්ථාවන්හිදී චීනය සැබෑ මිතුරෙකු ලෙස රැඳී සිටිමින් අපට අවශ්‍ය සහයෝගය ලබාදුන් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගිය 24 වනදා චීන මහජන විමුක්ති හමුදාවේ 96 වැනි සංවත්සර සැමරුම් උත්සවයේදිය.

අපගේ රටවල් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර විශේෂයෙන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ විවිධ ක්ෂේත්‍රයන්හි ඉතා සහයෝගයෙන් කටයුතු කර ඇති බව දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කරමින් ජෙනරල් ගුණරත්න මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටම කලාපයේ සහ ලෝකය තුළ සාමය සහ ස්ථාවරත්වය අගය කරන අතර, මෙම කැපවීම තහවුරු කිරීම සහ ජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම මෙන්ම කලාපීය සහ ගෝලීය ආරක්‍ෂාව සඳහා දායකවීම සඳහා දෙරටේ සන්නද්ධ හමුදාවන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන මහජන විමුක්ති හමුදාව ආරම්භයේ සිට එහි වර්තමාන ස්වරූපය වන නවීන හා බලගතු බලවේගයක් දක්වා වූ කැපී පෙනෙන ගමන එහි ස්වෛරීභාවය සුරැකීමට සහ කලාපීය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමට චීනයේ ඇති අධිෂ්ඨානය පිළිබඳ සාක්‍ෂියක් බව ඔහු තවදුරටත් පැවසීය.

මැති ඇමතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජාතික බුද්ධි ප්‍රධානී, හිටපු හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී, චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් Zhou Bo, රාජ්‍යතාන්ත්‍රික සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *