27 April 2024
#දේශීය

හොරොව්පතාන වැව් 07 ක ප්‍රථිසංස්කරණ කටයුතු කිරීම් ඇඹෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැව් 07 ක ප්‍රථිසංස්කරණ කටයුතු සමාරම්භ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ගොවිජන සේවා බල ප්‍රදේශයේ විලේවැව ගම්මානයේ කුඩාවැව , මොරවැව ගම්මනායේ පිහිටි මහපලුගස්වැව වැව, කුඩාපලුගස්වැව වැව, මොරවැව මහ වැව, අලියාකඩ වැව යන වැව් හා කපුගොල්ලෑව ගොවිජන සේවා බල ප්‍රදේශයේ කුඩාඅඹගස්වැව ගම්මානයේ වැව හා ඇලපත්වැව ගම්මනායේ වැව මෙලෙස ප්‍රථිසංස්කරණ කටයුතු කිරීම සමාරම්භ කෙරිණි.

රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වැය කරමින් මෙම වැව් 07 හි සුළු ප්‍රථිසංස්කරණ කටයුතු මෙලෙස සමාරම්භ කෙරිණි. ඒ අනුව එම වැව් වල සොරොව් අලුත්වැඩියාව, ඇළ වේලී පද්ධති ප්‍රථිසංස්කරණය, වැව් බැම්ම ප්‍රථිසංස්කරණය, රළපනාවන්හී ජල කාන්දු වන ස්ථාන ප්‍රථිසංස්කරණය කිරීම ආදී ප්‍රථිසංස්කරණ කටයුතු මෙහිදී සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති ආර්.ජයතිස්ස මහතා, හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීනී යූ.අනුෂා ප්‍රියංගනී සේනාධීර මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාශ අපේක්ෂකවරුන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිළධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.

 

තිසර – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *