දෙහිවල ජාතික සත්වෝද්යානයේ සීබ්රාවකගේ ආහාර මාර්ගයේ ඇති වූ අවහිරතාවක් ඉවත් කිරීම සඳහා සිදුකළ හදිසි ශල්යකර්මයෙන් පසු එම සත්වයා මේ වනවිට හොඳින් සුවය ලබමින් සිටින බව ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුව පවසයි.
සීබ්රාව පසුගිය සැප්තැම්බර් 29 වැනිදා සිට අසනීප ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, ඒ අනුව පශු වෛද්ය නිලධාරීන් විසින් රසායනාගාර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී සත්වයාගේ ආහාර මාර්ගයේ අවහිරතාවක් පවතින බව අනාවරණය වී ඇත.
ඒ අනුව, ඔක්තෝබර් 9 වැනිදා ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් හදිසි ශල්යකර්මයක් සිදුකර තිබේ. පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ අශ්ව විශේෂ පිළිබඳ විශේෂඥ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික පෙරේරාගේ මඟපෙන්වීම සහ සහභාගීත්වය යටතේ මෙම ශල්යකර්මය සිදුකර ඇත.
පැය කිහිපයක් පුරා පැවති ශල්යකර්මයේදී සත්වයාගේ ආහාර මාර්ගයේ අවහිරතාව ඇති කළ ජීර්ණය නොවූ ආහාර ගුලියක් සාර්ථකව ඉවත් කිරීමට පශු වෛද්යවරුන් සමත්ව තිබේ.
ශල්යකර්මයෙන් අනතුරුව දින කිහිපයක් පශු වෛද්ය අධීක්ෂණය යටතේ තබා ඇති සීබ්රාව මේ වනවිට යළිත් සාමාන්ය පරිදි ආහාර ගැනීම ආරම්භ කර ඇති බව දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
සීබ්රාවගේ ශල්යකර්මය සාර්ථක කර ගැනීමට සහ සත්වයා සුවය ලබන තත්ත්වයට පත් කිරීමට දායක වූ ආචාර්ය ධම්මික පෙරේරා, පශු වෛද්ය හසිත රූපතුංග, දෙහිවල සත්වෝද්යාන පශු වෛද්ය රෝහලේ කාර්ය මණ්ඩලය සහ සත්ව රැකවරණ කණ්ඩායම් වෙතද දෙපාර්තමේන්තුව සිය ස්තුතිය පළ කර තිබේ.













