ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, වසරේ මුල් මාස හය තුළ දිවයින පුරා සිදුකළ පරීක්ෂණවලදී ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ පාසල් පරිශ්‍රවලිනි. මෙම කාලසීමාව තුළ පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් පරීක්ෂා කළ පාසල් පරිශ්‍රවලින් 42.5%ක මදුරු කීටයන් බෝවී තිබූ බව අනාවරණය වේ. පාසල්වලට අමතරව කර්මාන්තශාලා 38.4%, රාජ්‍ය ආයතන 28.1%, ආගමික ස්ථාන 25.9% සහ නිවාස 9.2%ක් ලෙස මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇත.
ඩෙංගු රෝග ව්‍යාප්තියේ පවතින බරපතළ තත්ත්වය පෙන්නුම් කරමින් ඊයේ (17) දිනය වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 74,478ක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් ජූලි මස ගතවූ දින 17 තුළ පමණක් රෝගීන් 19,100ක් වාර්තා වීම සැලකිල්ලට ගත යුතු කරුණකි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, ඉන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 15,596ක් හඳුනාගෙන ඇත. මේ අතර පසුගිය පැය 24 තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
















