ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන 2026 වයස අවුරුදු 19න් පහළ පිරිමි සහ කාන්තා බොක්සිං ශූරතාවලිය ජූලි 14 සිට 18 දක්වා දියගම ශ්‍රී ලංකා බොක්සිං ජිම්නාසියම් පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම තරගාවලිය වර්ල්ඩ් බොක්සිං (World Boxing) ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ප්‍රධාන තේරීම් තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වේ. දිවයින පුරා ප්‍රමුඛ පෙළේ බොක්සිං පාසල් 50කට වැඩි සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනෙකු පමණ මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.
එමෙන්ම, ජූලි 15 සිට 19 දක්වා එම ස්ථානයේම 2026 අතරමැදි බොක්සිං තරගාවලිය පැවැත්වේ. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, විශ්වවිද්‍යාල සහ ප්‍රමුඛ පෙළේ බොක්සිං සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයින් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙම විවෘත ශූරතාවලිය සඳහා එක්වනු ඇතැමියි අපේක්ෂා කෙරේ. නැගී එන බොක්සිං දක්ෂතා හඳුනා ගැනීම සහ ඔවුන් ජාත්‍යන්තර මට්ටම සඳහා සූදානම් කිරීම අරමුණු කරගත් මෙම තරගාවලි ද්විත්වය, ශ්‍රී ලංකාවේ ආධුනික බොක්සිං ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් බව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ මාධ්‍ය අධ්‍යක්ෂ කුසල් ගුණසේකර මහතා පවසයි.
















