මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47,530ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට එම රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ යාම බරපතල තත්ත්වයක් වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ජුනි මාසයේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,689කි. මෙය රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.
සමස්ත රෝගීන් අතුරින් 51.90%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතෙන් 16.18%ක් වාර්තා වී ඇත. රට පුරා ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 112ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කය ද එම අවදානම් ලැයිස්තුවේ ඉහළින්ම පවතී.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සහ පිරිසිදුව තබා ගැනීමට මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
















