අද (23) සහ හෙට (24) දිනවල නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වුවද, ලබන 25 සහ 26 දිනවලදී නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය යළිත් තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පවසනවා. ඊට සමගාමීව 25 වැනිදා සිට ඉදිරි දින කිහිපය තුළ දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කරන්නේ. අද (23) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මීට අමතරව, ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
පසුගිය පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 110 ක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ වෝගන් වතුයායෙන් වාර්තා වී තිබේ. අද දිනයේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මුහුදු ප්‍රදේශ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු අතර, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5 ක් දක්වා ඉහළ යා හැකි බව දන්වා තිබේ. තද සුළං හා රළු මුහුද පිළිබඳ මෙම අවවාදාත්මක නිවේදනය අද පූර්වාහ්න 11.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇත.
















