ශ්‍රී ලංකාවට මේ වන විටත් ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසයේ බලපෑම ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අනතුරු අඟවනවා. දැනට දිවයිනට නිරිතදිග මෝසම් බලපෑම් පැවතිය ද, සුළං ප්‍රවාහයේ පවතින අඩුවීම හේතුවෙන් මධ්‍යම කඳුකරයට ලැබෙන වර්ෂාවේ අඩුවීමක් දැනටමත් වාර්තා වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට දුර්වල මට්ටමක පවතින මෙම එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන ජූලි මස මැද සතියේ පමණ සිට අගෝස්තු මාසය පුරාම දිවයිනේ වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වන අතර, නැඟෙනහිර පැසිෆික් සාගරයේ විශේෂ කැළඹිලි තත්ත්වයන් හටනොගතහොත් සැප්තැම්බර් මාසයේදී ද වැසි තත්ත්වය තවදුරටත් අඩු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි වැසි ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. නමුත් දැනට පවතින දුර්වල එල් නිනෝ තත්ත්වය නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි වන විට ප්‍රබල හෝ අති ප්‍රබල මට්ටමකට පත්විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව, මෙම දේශගුණික විපර්යාසයේ නියම බලපෑම ලාංකිකයන්ට හොඳින්ම දැනෙන්නට පටන් ගනු ලබන්නේ ලබන වර්ෂයේ මුල් කාර්තුවේදීය.
එම කාලසීමාවේදී දරුණු ලෙස පරිසර උෂ්ණත්වය ඉහළ යාම සහ වර්ෂාපතනය තදින්ම අඩුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ද අජිත් විජේමාන්න මහතා පෙන්වා දුන්නේය. අතීතයේ දෘශ්‍යමාන වූ එල් නිනෝ දත්ත සමඟ සැසඳීමේදී මෙම තත්ත්වය අපේක්ෂා කරන නමුත්, ලබන වසර පිළිබඳව ස්ථිර පුරෝකථනයක් කිරීමට තවමත් කාලය මදි බව ද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















