පරිසරයට අධික ලෙස විෂ දුම් මුදාහරිමින් ධාවනය වන වාහන හඳුනා ගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර ඒවායේ වායු විමෝචන තත්ත්වය පදනම් කරගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි ඇති විශේෂත්වය වන අතර මෙම මෙහෙයුම් කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල මඟින් සම්බන්ධීකරණය කරනු ලබයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි රැඳී සිටින විශේෂ ඒකකයේ නිලධාරීන් අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කිරීමට නියමිත අතර අදාළ ඡායාරූප සාක්ෂි ලෙස භාවිතා කරමින් වාහන හිමියන් වෙත එදිනම අවශ්‍ය නියෝග නිකුත් කිරීමට පියවර ගැනේ. නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
යම් හෙයකින් නිකුත් කරන ලද නිවේදනයට ප්‍රතිචාර නොදක්වන වාහන පවතින්නේ නම් ඒවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරනු ලැබේ. පරිසර පද්ධතිය සුරැකීම සහ මහජන සෞඛ්‍යය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම වැඩපිළිවෙළ හරහා දුම් සහතික ලබාගෙන තිබුණද නිසි නඩත්තුවක් නොමැතිව ධාවනය වන වාහන පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරේ.














