සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ මිතුරෙකුට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මී ගව පැටවුන් සොරකම් කර, ඒවා එළු මස් ලෙස අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ පාසල් සිසුන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු ඇතුළු මෙම පිරිස, මෝටර් රථ යොදාගනිමින් මී ගව පැටවුන් සොරකම් කර ප්‍රවාහනය කර ඇති බව හෙළි වී ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් තිලකපුර ප්‍රදේශයෙන් සොරකම් කරන ලද මාස කිහිපයක් වයසැති මී ගව පැටවුන්, කරන්දෙනිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවයි. එළු මස් මිල අධික බැවින් මෙම ගව පැටවුන් මරා එළු මස් ලෙස අලෙවි කිරීම මොවුන්ගේ උපක්‍රමය වී තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ ගවයන් ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙක ද පොලිස් භාරයට ගෙන ඇති අතර, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.














